සුභ නැකැත් සෑදීම 1 සුභ මුහුර්ත හෙවත් "සුභ නැකැත්" පිළිබදව විස්තර කිරීම එක් ලිපියකින් කළ හැකි කාර්්‍යයක් නොවේ.නමුත් සුභ නැකැත් පිළිබදව වැටහීම ජ්‍යොතිෂවේදියාට පමනක් සීමා විය යුතුද නැත.සුභ නැකැත් තේරීම පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කල යුතු වුවත් සුභ නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂයේදී භාවිතා කරන අනුගමනය කෙරෙන ක්‍රම පිළිවෙත් ගැන සරල වශයෙන් හෝ අවබෝධයක් ලබාගෙන සිටීම කවදා හෝ ප්‍රයෝජනවත් වනු ඇත. සුභ කටයුතු සදහා නැකැත් සෑදීමේ ක්‍රම දෙකක් ජ්‍යොතිෂයේදී පෙන්වා දී ඇත. 1) මහා නක්‍ෂත්‍ර ක්‍රමය 2) චූල නක්‍ෂත්‍ර ක්‍රමය. මහා නක්‍ෂත්‍ර ක්‍රමය මහා නක්‍ෂත්‍ර ක්‍රමයේදී ජීවිතයේ වටිනා වැදගත් විශේෂ අවස්ථා(විවාහය,නිවෙස් ඉදිකිරීම ආදිය) සදහා කල්වේලා ඇතිව ඉතා සුපරික්‍ෂාකාරී ලෙස සාදා ගන්නා නැකැත් ක්‍රමයි. මෙහිදී අනිවාර්යයෙන්ම යෙදී තිබිය යුතු ශුභ කරුණු පහත දැකවේ.(ලිපියේ කරුණු හොදින් තේරුම් ගැනීමට මෙම ශුභ කරුණු යෙදෙන ආකාරය පිළිබදව සවිස්තර දැක්වීමක් අවශ්‍ය වුවත් මෙම ලිපිය ලියන්නේ සුභ නැකැත් හැදීම පිළිබදව හදුන්වා දීමක් පාඨක ඔබට ලබා දීමට නිසා එම සවිස්තර දැක්වීම් ලිපියේ සීමාව ඉක්මවයි.එබැවින් පහත විස්තර වල දැක්වෙන අමුතු අමුතු වචන ගැන මේ අවස්ථාවේ වැඩිය කලබල නොවන්න.ඉදිරි ලිපිවලින් එම අපහසුතාවද මඟ හැරේ.) 1)යෙදෙන නැකැත් වේලාවට අදාළ නැකැත ජන්මියාගේ උපන් නැකතට සීහිය(සුභ) විය යුතුය. 2) පඤ්චාංග ශුද්ධිය තිබිය යුතුය. 3)උදය කාලය වීම (හිරු මුදුන් වීමට පෙර කාලය) 4)තත්කාල ග්‍රහචාරය බලවත් වීම 5) ශුභ හෝරා පංචම කාල හෝරා තෝරා ගැනීම 6)ශුභ දිශාව,සදු සිටින දිශාව විමසීම 7) පක්‍ෂියා බලවත්(රජ,භෝජන,ගමන) වීම අත්හළ යුතු අසුභ අවස්ථා පහත දැක්වේ 1)සුභ නැකතක් ලෙස ඇතත් ජන්මියාගේ උපන් නැකතට ඉතා අසුභ නැකැත් 2)දස මහා දෝෂ 3)කෝණ මාස,සංක්‍රාන්ති,ග්‍රහණ,ධූම කේතු 4) අසුභ හෝරා විෂ පංචම කාලය 5) රාහු කාලය 6)මරු සිටින දිශාව 7) පක්‍ෂියා නිදි මර අවස්ථා 8) විෂ කලාව(ශරීරර සම්බන්ධ කටයුතු වලදී) චූල නක්‍ෂත්‍ර ක්‍රමය. කල් නොදමා කල යුතු මෙන්ම හදිසියේ අනිවාර්යෙන් කිරීමට යෙදෙන කටයුතු (සම්මුඛ පරීක්‍ෂණ,විභාග ආදියට පිටත්වීම ආදී..) සදහා සුභ වේලාවන් තෝරා ගැනීමට මෙන්ම ජන්ම කේන්ද්‍ර නොමැති අයට සුභ නැකැත් සෑදීමට යොදා ගන්න ක්‍රමයයි. මෙහිදී පඤ්ච පක්‍ෂි ක්‍රමය,කේවල සිද්ධි යෝග,සිවලිත මුහුර්ත,ඵන්ථාන චක්‍රය,අෂ්ඨ මාංශ හෝරා චක්‍රය,අටවිසි මහා යෝග චක්‍රය ආදී ක්‍රමෝපායන් රාශියක් භාවිත කරයි.

Comments